කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට 10 වසරක සිරදඬුවම්

අල්ලස් ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට දස වසරක සිරදඬුවම්

by Staff writer 23-01-2020 | 6:11 PM
COLOMBO (News 1st) : නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ විත්තිකාරියකට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද වසර 10ක සිරදඬුවම් නියම කළේ ය. ඒ, අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිර කිරීම සඳහා, රුපියල් ලක්ෂ දෙකක අල්ලස් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරු බව නිගමනය කරමිනි. විත්තිකාරියට රුපියල් විසිදහසක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් වසර දෙකක අමතර සිරදඬුවමක් ද නියම කළේ ය. 2011 ජුනි 01 හා 2011 ජුලි 01 අතර කාලය අතරතුරදී එම අභ්‍යාසලාභි ගුරුවරියකගේ ඥාතියෙකුගෙන් එකී අල්ලස අයැද සිටීම හා ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හතරට ම විත්තිකාරිය වැරදිකාරිය බව නිගමනය කළ විනිසුරුවරයා, චෝදනාවකට වසර 5 බැගින් වසර 20ක සිරදඬුවම් නියම කළේ ය. එම වසර විස්සක සිර දඬුවම් කාලය වසර 10 කින් එකවර ගෙවී යන ලෙස ලබා දීමට විනිසුරුවරයා එහි දී වැඩිදුරටත් නියෝග කළේ ය