මෙරට සාගර පද්ධතිය  අවදානමක..

මෙරට සාගර පද්ධතිය ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක්

by Staff writer 22-01-2020 | 10:06 AM

COLOMBO (News 1st): මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය. මළ මුහුදු කලාපයක් යනු ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශයයි. එම මුහුදු කලාප මෙරට මුහුදු තීරයේ නිර්මාණය වුවහොත් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ද ඔහු සඳහන් කළේය. ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ, මළ මුහුදු කලාප බිහිවීම වැළැක්වීම සඳහා පරිසර දූෂණය අවම කර යුතු බව ය. 1950 දශකයේදි මළ මුහුදු කලාප මුල් වරට සොයා ගැනුණු අතර එය මේ වනවිට 400% ගුණයකින් වැඩි වී ඇතැයි ලෝක සාගර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේය. මෑතකදී ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ද මෙවැනි මළ මුහුදු කලාපයක් නිර්මාණය වී පැතිරෙන බව සොයා ගැනිණි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර් 64,000කි.