පාඨලී චම්පිකගේ රියැදුරු අද ත් අධිකරණයට

පාඨලී චම්පිකගේ රියැදුරු රහස් ප්‍රකාශයක් ලබාදීමට අද ත් අධිකරණයට

by Staff writer 22-01-2020 | 5:44 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකාර තුසිත දිලුම් කුමාර නැමැත්තා රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවැනි දිනටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඒ, 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. පාඨලී චම්පික මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ දෙවැනි සැකකාර තුසිත දිලුම් කුමාර නැමැත්තා පස්වරු 2.00 ට පමණ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මියගේ නිල මැදිරියට කැඳවනු ලැබුවේ ය. රහස් ප්‍රකාශය ලබාදීමට අපේක්ෂා කරනුයේ සැකකරුගේ ස්ව කැමැත්තෙන්ද නැතහොත් අන් අයෙකුගේ බලපෑම මත දැයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුගෙන් විමසා ඒ බව සටහන් කර ගත්තා ය. අද දින නඩුව කැඳවනු ලැබුවේ මෝසමක් මගිනි. ඉදිරියේදී එම රහස් ප්‍රකාශය සටහන් කිරීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය දන්වා ඇතැයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් ජයසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ය.