ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය ඇරඹේ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය ඇරඹේ

by Staff writer 22-01-2020 | 8:25 AM

COLOMBO (News 1st): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය මේ වනවිට සෙනෙට් සභාවේදී පැවැත්වේ.

ඒ, අදාළ විමර්ශනය පැවැත්විය යුත්තේ කෙසේදැයි යන්න අදාළ නීති සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමේ අරමුණිනි. මෙහිදී ජනාධිපතිවරයාට එරෙහි චෝදනා ඔප්පුකිරීමට අදාළ සාක්ෂි සහ ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස ධවල මන්දිරයට බල කරමින් ඩිමොක්‍රැටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මෝසම, සෙනෙට් සභාව තුන්වරක්ම ප්‍රතික්ෂේප කළේය. ඒ, ඡන්ද 53ට 47ක් ලෙස ය. අනතුරුව ධවල මන්දිරයේ වැඩබලන කාර්යමණ්ඩල ප්‍රධානී මික් මුල්වේනි කැඳවන ලෙස ඉල්ලා හතරවන වරටත් මෙම මෝසම ඉදිරිපත් කරන බව ඩිමොක්‍රැටික් පක්ෂ සෙනෙට් සභික චක් ෂූමර් සඳහන් කළේය. මෙමගින් මෙම දෝෂාභියෝග විමර්ශනය, අමෙරිකානු ජනාධිපතිවරයාට වාසිදායකවන ලෙසින් පැවැත්වෙනු ඇතැයි ඉඟිපලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සඳහන් කළේ, මෙම විමර්ශනය පදනම් විරහිත අතර ජනාධිපතිවරයා කිසිඳු වරදක් සිදුකර නොමැති බව ය . ජනපති ට්‍රම්ප් සිය බලතල අවභාවිත කර, කොංග්‍රසයේ කටයුතු අවහිර කළ බවට පමණටත් වඩා වැඩි සාක්ෂි තමන් සතු බව ඊට ප්‍රතිචාර ලෙස ඩිමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයන් සඳහන් කළේය . ජනාධිපතිවරයා කළ වරදේ බරපතලකම වටහාදීමට හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඇතුළු සාක්ෂිකරුවන් මෙම නඩු විභාගය වෙත කැඳවිය යුතු බව ඩිමොක්‍රැටික් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතයයි. දිනකට පැය 6 බැගින් දින 6ක කාලයක් අමෙරිකානු අගවිනිසුරුවරයකු වන ජෝන් රොබට්ස් ගේ අධීක්ෂණය යටතේ මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂග්‍රාහී නොවන ලෙසින් කටයුතු කරන බවට සෙනෙට් සභිකයන් දිව්රුම් දුන්නේය. ජනාධිපතිවරයා, සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන් ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි, යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීම, ඔහුට එරෙහිව මෙලෙස දෝෂාභියෝගයක් ගෙනඒමට මුල්විය. ජනාධිපති ට්‍රම්ප්, යුක්‍රේනය සිය යෝජනාවට එකඟවනතෙක්, එරටට ලබාදීමට නියමිත වූ යුධ ආධාර ලබාදීමෙන් වැළකී සිටි බව ද සඳහන් වේ.