රාජිතට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට..

රාජිතට ඇප දීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට මහාධිකරණයෙන් අවසර

by Staff writer 21-01-2020 | 12:33 PM

COLOMBO (News 1st): සුදු වෑන් මාධ්‍ය හමුව අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ, එම විභාගය ලබන මාර්තු 05 වැනිදා පැවැත්වීමටයි. එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා රාජිත සේනාරත්න මහතාට නොතිසි නිකුත් කිරිමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මෙම ප්‍රතිශෝධන අයදුම්පත නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණේ, රාජිත සේනාරන්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගැනීමටත් පෙර දින 03 ක් ඇතුළතදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ඇප මත මුදා හැරීම හේතුවෙනි. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම්කර ඇති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට මෙසේ ඇප ලබාදීම විමර්ශනවලට දැඩි බාධාවක් සිදුව ඇති බව නීතිපතිවරයා පෙන්වා දී තිබුණි. එම ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා අද ප්‍රකාශ කළේය. මහාධිකරණ විනිසුරුවරයා එහිදී රාජිත සේනාරත්න මහතාගේ නිතිඥවරයාට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් විරෝධතා ලබන 10 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ය. මේ අතර පෙබරවාරි 24 වැනිදා ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසට නීතිපතිවරයා වෙත මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කිරිම සඳහා අවශ්‍ය ලේඛන ලබන 23 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයාට අධිකරණය නියෝග කළේය.