අඩි 1132 ක් යට උපවාස කරන කහටගහ පතලේ සේවකයෝ....

by Staff writer 21-01-2020 | 6:43 PM

COLOMBO (News 1st) - දොඩංගස්ලන්ද, කහටගහ පතලේ සේවය කරන කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

ඒ, එම පතලේ අඩි 1132 ගැඹුරට ගමන් කරමිනි. දොඩංගස්ලන්ද, කහටගහ පතලේ කම්කරුවන් අද පෙරවරුවේ මෙලෙස රැස්වුණේ සිය වැටුප් ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණිනි. පෙරවරු 10.00 ට පමණ පිරිස පතල් පරිශ්‍රයට පිටව ගියේ තම අරමුණු දිනා ගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටයි. මේ වනවිට දොඩංගස්ලන්ද ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් මිනිරන් පතලේ කම්කරුවන් 60 දෙනෙකු පමණ මාරාන්තික උපවාසයට එක් ව සිටි. කාන්තාවන් 15 දෙනෙකු ද ඊට ඇතුළත් ය. මෙම මිනිරන් පතල 1872 වසරේදී පෞද්ගලික සමාගමක් ලෙස ආරම්භ වී ඇති අතර 1971 වසරේදී රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. මේ වනවිට එය පාලනය කෙරෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේයි.