චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළට

චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළට

කර්තෘ Staff writer

21 Jan, 2020 | 10:27 am

COLOMBO (News 1st):  චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ය .

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය.

වෛරසය ආසාදනය වූවන්ගෙන් තුන්දෙනෙකු මේ වනවිට මියගෙස් තිබේ.

ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා විය.

චීනය තහවුරු කළේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වයක් හටගන්නා අතර එය අයෙකුගෙන් තවත් පුද්ගලයකුට වැළඳිය හැකි බව ය .

චීනයේ මෙම වෛරසය පැතිරයාම වෙළඳ සංකීර්ණයකින් ඇරඹෙන්නට ඇතැයි මත පලවන නමුත් විද්‍යාඥයන් සහ බලධාරීන් මෙතෙක් එය තහවුරු කර නොමැත.

වෛරසය පැතිරයන්නේ චීන වැසියන් මිලියන ගණනක් ලූනා නව වසර සැමරීමට සූදානම් වන පසුබිමකදීය .

මෙම නව කොරෝනා වෛරසය, සාර්ස් වෛරසය පැතිරයාම සිහිපත් කරවන අතර සාර්ස් වෛරසය වැළඳුණු පුද්ගලයන් 774 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව වෛරසය සාර්ස් වෛරසයට බොහෝ සමානකම් පෙන්වන බව ය .

2019 – nCoV යනුවෙන් හැඳින්වෙන මෙම වෛරසය මීට පෙර මිනිසුන් තුළ හඳුනාගෙන නොමැත.

වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ.

මේ හේතුවෙන් සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් මස් සහ බිත්තර හොඳින් පිසින ලෙසත් , සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දී ඇතැයි සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]