හිමිනමක් අපවත්වීම ගැන පොලිස් කොමිසමෙන් වාර්තාවක්..

හුංගමදී වෙඩි වැදී හිමිනමක් අපවත්වීම ගැන ජාතික පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

by Staff writer 20-01-2020 | 7:51 AM

COLOMBO (News 1st): හුංගම, හාතාගල, දෙණියපාරේදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමට තීරණය කර ඇති බව ය. එලෙස අපවත් වූයේ හාතාගල රජමහා විහාරවාසී පූජ්‍ය උණාවටුනේ සීලරතන හිමියන්. හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සීලරතන හිමි අපවත් වනවිට උන්වහන්සේ 22 හැවිරිදි වියෙහි පසුවිය. පොලීසිය පැවසුවේ හාතාගල, දෙණියපාර ප්‍රදේශයේ දී යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරුපැදියක් නැවැත්වීම සඳහා අණ කරනු ලැබ ඇති බව ය. නමුත් ඔහු අණ නොතකා පළා යමින් සිටිය දී පොලිස් නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී හාතාගල ප්‍රදේශයේදී පොර බැදීමක් සිදුවූ බව පොලිසිය සඳහන් කළේය. එහිදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් අසළින් ගමන්ගත් ස්වාමීන් වහන්සේලා 8 නමක් රැගත් වෑන් රථයක් තුළ සිටි පූජ්‍ය උණාවටුනේ සීලරතන හිමියන් වෙඩි වැදී තිබූ අතර තුවාල ලැබූ හිමිනම අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් විය.