හඬපට ගැන අගමැති කතා කරයි

හඬපටවල අධිකරණය සම්බන්ධ කරුණුවලට අගවිනිසුරුවරයා ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා - අගමැති

by Staff writer 20-01-2020 | 1:04 PM

COLOMBO (News 1st): මතභේදාත්මක හඬපට වලින් අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති කරුණුවලට අදාළව අගවිනිසුරුවරයා ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර හඬපට මුල්කරගෙන ගැටලුවක් ඇති නොවීමට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ රජය මේ වනවිට ලබාදී ඇති සහන නිසා ඉදිරි කාල සීමාවේ ජීවන වියදම ක්‍රමයෙන් අඩුවනු ඇති බව ය. සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සඳහා ලබාදී ඇති සහන පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. එහිදී පෙන්වා දුන්නේ එම ව්‍යාපාරවල නොගෙවූ ණය හේතුවෙන් දේපොළ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම දෙසැම්බර් දක්වා අත්හිටුවන ලෙස බැංකු හා මූල්‍ය ආයතනවලට දැනුම් දී ඇති බව ය. එම ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා 10%ක සහන පොළියට රුපියල් මිලියන 300ක් දක්වා සහන ණය ලබා දීමටද බැංකු හා මූල්‍ය ආයතනවලට රජය උපදෙස් දී තිබේ. මේ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉරාන අමෙරිකා අර්බුදයත් සමග ලෝක වෙළෙඳපොළ තෙල් මිල ගණන් ඉහළ යමින් ඇති බව ය. ජනතාවට ලබාදී ඇති බදු සහන රැසක් හමුවේ මෙරට තෙල් අලෙවි කිරීමේදී පනවා ඇති බදු ඉවත් කළහොත් රාජ්‍ය ආදායමට ගැටලුවක් මතුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ, තවදුරටත් ලෝක වෙළඳපොළ තත්ත්වය වෙනස් වුවහොත් මෙරට තෙල් මිල සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ය. මේ අතර MCC ගිවිසුමට පසුගිය රජය කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවත් වාචිකව යම් එකඟතා ඇතිකරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති හමුවේදී සදහන් කළේය. ඔහු පැවසුවේ, ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ කමිටුව පත්කර මේ ගිවිසුම පිළිබඳව පූර්ණ අධ්‍යනයනකින් පසුව තීරණයක් ගැනීම රජයේ අපේක්ෂාව බව ය.