පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට

by Staff writer 20-01-2020 | 8:06 AM

COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දෙවැනි දිනටත් අද පැවැත්වේ.

හරාරේහීදී පැවැත්වෙන තරගය අහයපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 189කි. මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයකි. පළමුව පන්දුවට පහර දීම සඳහා සිම්බාබ්වේ ඉනිම අරඹමින් පිටියට පිවිසියේ ප්‍රින්ස් මෂුවාරි හා කෙවින් කසූසා. ඔවුන් දෙදෙනා සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 96කි. සිය ටෙස්ට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කළ ප්‍රින්ස් මෂුවාරි ලකුණු 55 කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි ක්‍රෙග් අර්වින් සමග එක්වූ කෙවින් කසුසා සිම්බාබ්වේ ඉනිමේ දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 68කි. සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ කෙවින් කසූසා ලකුණූ 63 කට දැවී ගියේය. පළමු දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ක්‍රේග් අර්වින් සිය තුන්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කරගෙන සිටි ලකුණු ගණන 55කි. බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 13ක් ලබා ගත්තේ ය.