1 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමට නව චක්‍රලේඛයක්

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමට නව චක්‍රලේඛයක්

by Staff writer 20-01-2020 | 6:14 PM

COLOMBO (News 1st) - පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ නව චක්‍රලේඛනයක් ලබන වසර සඳහා නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දැනට ක්‍රියාත්මක චක්‍රලේඛනය දිවයිනටම පොදු බැවින් ප්‍රාදේශීය වශයෙන් පවත්නා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබාදීමේ ප්‍රමාදයන් ආදිය සැලකිල්ලට ගෙන 2021 වර්ෂය සඳහා නව චක්‍රලේඛනයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි. පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාත්වික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වී ඇති බව එම නිවේදනයේ සඳහන් විය.