නවකවදය මුල්කරගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේත් පහරදීමක්

by Staff writer 20-01-2020 | 8:44 PM

COLOMBO (News 1st) - නවකවදයට එරෙහි වූ පළමු වසරේ සිසුවෙකුට දෙවැනි වසරේ සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් නැ‍ගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පන්ති තහනමක් පනවා තිබේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යාපනය ලබන පළමු වසර සිසුවෙකුට ‍දෙවන වසරේ සිසුන් පිරිසක් අද පෙරවරුවේ පහරදී තිබුණි. පහරදී ඇත්තේ නවකවදයට එරෙහි සංවිධානයවී කටයුතු කිරීම බව වාර්තා විය. තුවාල ලැබූ සිසුවා‍ මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පැවසුවේ, මේ වන විට සියල්ල සමතයකට පත්කර ඇති බවයි. කෙසේ වෙතත් පළමු ව‍සරේ සහ දෙවන වසරේ සිසුන් සඳහා නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලය වසා දමා තිබේ. පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළ ගැටුමක් හට ගත්තේ ද නවකවදය සිද්ධියක් මුල් කරගනිමිනි. මේ සිද්ධියට අදාළව සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත‍ කෙරුණි.