තේරිම් කාරක සභා සඳහා යෝජිත සාමාජික නාම ලේඛනය..

තේරිම් කාරක සභා සඳහා යෝජිත සාමාජික නාම ලේඛනය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

by Staff writer 20-01-2020 | 8:53 AM

COLOMBO (News 1st): පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා දේශපාලන පක්ෂ යෝජනා කළ සාමාජිකයින්ගේ නාමලේඛනය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

ඒ, සඳහා හෙට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට නියමිත ය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා නව සමාජිකයින් පත් කිරිම ඇතුළු පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙනි. 8 වන පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරයට අදාළව පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා කඩිනමින් සාමාජිකයින් නම් කරන්නැයි පසුගියදා කතානායකවරයා ද පක්ෂ නායකයින්ගෙන් ඉල්ලිමක් කළේය. කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළුව පාර්ලිමේන්තුව නම් කරන සාමාජිකයින් 17 දෙනකුගෙන් සමන්විත ය. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරුන් නව දෙනාගේ නම්, ආණ්ඩු පක්ෂය නියොජනය කරමින් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු න්‍යා‍ය පත්‍රයට ඇතුළත්ව තිබේ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රිවරුන්ගේ නම් විපක්ෂව නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති බව ය.