by Staff writer 19-01-2020 | 7:07 PM
COLOMBO (News 1st) - හුංගම, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොර බැදීමකින් ඇති වූ වෙඩි වැදීමකින් අද උදෑසන භික්ෂූන් වහන්සේ නමක් අපවත් විය.
හුංගම පොලිස් වසමේ හාතාගල, දෙණියපාර ප්‍රදේශයේ දී අද උදෑසන යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරුපැදියක් නැවැත්වීම සඳහා අණ කර තිබුණි.
නමුත් ඔහු අණ නොතකා පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් ලුහු බැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී බොලටියාය හන්දිය ප්‍රදේශයේදී පොර බැදීමක් සිදු වූ බව පොලීසිය සඳහන් කළේ ය.
එහිදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් අසළින් ගමන්ගත් ස්වාමීන් වහන්සේලා 8 නමක් රැගත් වෑන් රථයක් තුළ සිටි හිමි නමකට වෙඩි වැදී ඇත.
පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ හිමිනම අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි.
හාතාගල රජමහා විහාරවාසී පූජ්‍ය උණාවටුනේ සීලරතන හිමි මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති අතර උන්වහන්සේ 22 හැවිරිදි වියෙහි පසු විය.
හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සීලරතන හිමි අද සවස නැවත විශ්වවිද්‍යාලයට යාමට නියමිතව තිබූ බව අප වාර්තාකරු පැවසුවේ ය.
පළා යාමට තැත්කළ සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, ඔහු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට මීට පෙර තොරතුරු ලැබී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල සහකාර පොලිස් අධිකාරි දෙක රත්නවීර එල් අඩස්සූරිය මහතාගේ අධික්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.