සියලු උපාධිධාරීන්ට කඩිනමින් රජයේ රැකියා

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් රජයේ රැකියා - ජනපති

by Staff writer 19-01-2020 | 6:49 PM

COLOMBO (News 1st) - රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, දිවයිනපුරා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කර ඇති අතර පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. රැකියාලාභින්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබා දෙනු ඇති. ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. රාජ්‍ය සේවය දෝෂාරෝපණයට ලක්ව ඇත්තේ, සුළු පිරිසක් අතින් සිදුවන වැරදි හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සිදුවන අතපසුවීම් සමස්ත රාජ්‍ය සේවයම අවඥානයට ලක් කර ඇති බව පෙන්වා දුන්නේ ය. කාර්යක්ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් තුළින් තමන්ට වැටුප් ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.