කතරගම ගැටුමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

කතරගම ගැටුමට සම්බන්ධ සැකකරුවන් ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ්

by Hashini De Mel 19-01-2020 | 6:43 PM

COLOMBO (News 1st) - කතරගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර හටගත් ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද තිස්සමහාරාම වැඩබලන මහේස්ත්‍රාත් ක්‍රිෂාන්ත අබේසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ලබන 22 වැනි දා එම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට පැමිණි වන්දනාකරුවන් පිරිසකි. පොලීසිය සඳහන් කළේ, ඔවුන් බීමත්ව මැණික් ගගේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ ගැටුම හටගත් බවයි. සැකකරුවන් කළ පහරදීම්වලින් ගම්වාසීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.