CID භාරයේ පසුවන සැකකරුවෙකු ජනපති කොමිසම හමුවට

CID භාරයේ පසුවන සැකකරුවෙකු අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසම හමුවට

by Hashini De Mel 18-01-2020 | 1:51 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු අද ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහායි. මාධ්‍යයට සහ පිටස්තර පුද්ගලයින්ට නොපෙනෙන ලෙස අදාළ පුද්ගලයාගේ මුහුණ ආවරණය කර කොමිසම තුළට රැගෙන ආ බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ය. අද පෙරවරු 10.35 ට පමණ සැකකරුගෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කළ බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ය. මේ අතර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මෙරිල් මෙත්තානන්ද ගුණරත්න මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ය. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පැය 4 කට අධික කාලයක් ඔහුගෙන් සාක්ෂි ලබා ගත් බවයි.