රියදුරු බලපත් නිකුත් කිරීමේදී අක්‍රමිකතා රැසක්

රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා රැසක්

by Staff writer 18-01-2020 | 10:14 PM
COLOMBO (News 1st) : ස්මාර්ට් වර්ගයේ රියදුරු බලපත්‍ර නිෂ්පාදනය හා නිකුත් කිරීමේ කාර්ය සම්පුර්ණ වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු නිසි කලට සිදු වී නොමැති බවට විගණකාධිපතිවරයා එහි පාලනාධිකාරියට චෝදනා කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා රැසක් පසුගිය දිනවල හෙළිවුණේ ජනාධිපතිවරයා එහි කළ නීරීක්ෂණයකින් අනතුරුවයි. මේවනවිට නිකුත් කෙරෙන රියදුරු බලපත්‍රය හරහා ද විශාල දූෂණයක් සිදුවන බව නවතම විගණකාධිපති වාර්තාවකින් හෙළිවී ඇත. පෞද්ගලික සමාගමක් සමග නවීන තාක්ෂණය ඔස්සේ රියැදුරු බලපත් නිකුත් කිරීමේ කාර්යයට ගිවිසුම්ගතව ඇත්තේ 2006 වසරේදීයි. වර්ෂ හතකින් අදාළ කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව භාරයට ගැනීම සිදු කළ යුතු බවට පූර්ණ අවබෝධයක් තිබියදීත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හෝ සුදුසුකම් සහිත නිලධාරින් බඳවා ගෙන නොමැත. අදාළ ගිවිසුමට අනුව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක පිරිවැය බදුරහිතව රුපියල් 1340 ක් වේ. රියදුරු බලපත්‍රයේ මුද්‍රණය කිරීම හැර බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අනෙකුත් සියලුම කාර්යයන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන අතර මේ වන විටත් අදාළ ගිවිසුම් කාලය අවසන්ව වසර හයක් ගතව තිබේ. නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍ර නිර්මාණය කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වූයේ රියදුරු නියාමනයට අවශ්‍ය තොරතුරු සැපයීම වුවත් එවැන්නක් සිදු සිදුනොවේ. විගණකාධිපති දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ උපරිම ගුණාත්වයෙන් යුතු ඉහළ තාක්ෂණය යටතේ ස්මාර්ට් කාඩ්පතක් නිෂ්පාදනය රු.300 500ත් අතර උපරිම මුදලකට සිදු කළ හැකි බවයි. එසේ තිබියදී රියදුරු බලපත්ර වෙනුවෙන් ජනතාව මත අමතර බරක් පටවා ඇති බව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. විගණනයේදී හෙළිව ඇත්තේ මෙම රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් 2009 වසරේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා රුපියල් මිලියන 8567.45 ක මහජන මුදලක් සැපයුම්කරුට ගෙවා ඇති බවයි. 2016 මාර්තු සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා ගෙවන ලද මුදල පමණක් රුපියල් මිලියන 2956.62.කි. අදාල කොන්ත්‍රාත්කරු සමඟ පැවති ගිවිසුමද මුල් ගිවිසුමෙන් අනතුරුව හතර වතාවක් දීර්ඝ කර තිබේ. ඒ කලින් ගිවිසගත් පරිදි වැඩි ගාස්තුවක් පෞද්ගලික සමාගමට අයවන පරිදියි. තාක්ෂණික දියුනුව මත ස්මාර්ට් කාඩ් නිෂ්පාදන පිරිවැය මේ වන විට අඩු වීමත්, කොන්ත්‍රාත් ගිවිසුමට එළඹි දිනයට සාපේක්ෂව වර්තමානයේ රියදුරු බලපත්‍ර ඉල්ලුම මාසිකව හැටදහසක් පමණ පවතින තත්ත්වයක් තුළත් කාඩ්පත් මුද්‍රණයේදී ඇතිවන මහා පරිමාණ පිරිවැසූම් වාසිය රජයට ලබාගෙන නොමැත. පවතින තත්ත්වය අනුව මසකට අවම වශයෙන් රියදුරු බලපත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 102 ක මුදලක් අදාළ සමාගම වෙත ගලා යයි. විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ මුලින් එළඹුණ ගිවිසුම අනුව කටයුතු නොකිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කළමනාකරණය වැරදි ගණනාවක් සිදුකර ඇති බවයි. මේ අතර 2009 සිට 2018 දක්වා කාලය තුළ දෝෂ සහිත රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ බව ද වාර්තාවේ. එමෙන්ම පසුගිය සමය තුළ විවිධ පාර්ශව චෝදනා කළේ මෙම රියදුරු බලපත් සැබැවින්ම ස්මාර්ට් ගණයේ පහසුකම් ඇති ඒවාදැයි සැක සහිත බවටයි. නවීන තාක්ෂණයෙන් සරළ කාර්යයන් ඔස්සේ රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම දෙපාර්තමේන්තුවට පවරා ගතයුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කරයි. නවීන තාක්ෂණයෙන් යුතු බලපත්‍රයක් මගින් බලාපොරොත්තු පරිදි මහ මඟ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට එය පරීක්ෂා කළ හැකි ක්‍රමයක් සැකසිය යුතු බව ද වාර්තාවේ සඳහන් ය. ඒ සඳහා විශේෂ ජංගම දුරකථන මෘදුකාංගයක් වැනි නව තාක්ෂණය හා සම්බන්ධ ක්‍රමවේදයක් නිර්මාණය කර ඒ තුළින් පොලිස් නිලධාරීන්ට හා අනෙකුත් නිලධාරීන්ට රියදුරු බලපත්‍ර පරික්ෂා කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවද නිර්දේශ අතර වේ.