රාජ්‍ය සේවය දියුණු කරන්න ජනපතිගෙන් උපදෙස්...

රාජ්‍ය සේවයට දක්ෂයන්ගෙන් සැදුම්ලත් නිපුණතා සංචිතයක් ඇති කළ යුතුයි - ජනපති

by Staff writer 18-01-2020 | 8:08 AM

COLOMBO (News 1st) - කඩිනමින් පණ ගැන්විය යුතු ආයතන රැසකට ප්‍රධානීන් පත් කිරීමේදී අදාළ ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති පුද්ගලයින් පිළිබඳ තොරතුරු ගොනුවක් නොතිබීම බාධාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීය. රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී පෙන්වාදී තිබේ. ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ, එම පිරිස් වහාම හඳුනාගෙන සංචිතය සඳහා නිර්දේශ යොමු කරන ලෙසයි. තොරතුරු තාක්ෂණය සහ සිය ක්ෂේත්‍රයන්ට අදාළව දේශීය සහ විදේශිය පුහුණුවීම් ලබාදීමට පියවර ගැනීමෙන් දක්ෂ රාජ්‍ය සේවකයෙක් සහ යහපත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිතුමා එහිදී පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිතුමා එහිදී පවසා ඇත්තේ, ඒකාබද්ධ සේවය පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයන්ට ද විවිධ රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරුවීම් සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවයි. එමගින් ක්ෂේත්‍ර රැසක අත්දැකීම් සහිත පරිපූර්ණ රාජ්‍ය සේවකයෙක් බිහි කළ හැකි බව ජනාධිපතිතුමාගේ අදහසයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී ඇය ඒ බව ප්‍රකාශ කළ බවයි. දිළිඳුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් එහිදී සාකච්ඡා කර තිබේ.