ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනපති හමුවෙයි

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනපති හමුවෙයි

by Staff writer 18-01-2020 | 7:13 PM
COLOMBO (News 1st) : ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවක් පැවැත්විණ. අජිත් දොවාල් මහතා අද පෙරවරුවේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ය. ඔහු අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් සපයන බවද මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පැවසූ බවයි. රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට ඔහු එහිදී ප්‍රතිඥාවක් දී තිබේ. ශ්‍රී ලංකාව, මාල දිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය කලාප දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම ද ඔහු එහිදී අවධාරණය කර තිබේ. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂණකයින් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව දොවාල් මහතා සඳහන් කර තිබේ. මේ අතර විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මෙරට ඉහල පෙළේ නිලධාරින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවයි. එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදේශ සබඳතා අංශය සඳහන් කළේ ය. අජිත් දොවාල් මහතා මීට පෙර ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/477854269580327/