21 ප්‍රහාරය: ජනපති කොමිසම අදත් සාක්ෂි විමසයි

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසම අදත් සාක්ෂි විමසයි

by Staff writer 18-01-2020 | 10:05 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාග කිරීම අදත් සිදු විය. සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින සැකකරුවෙකි. 2015 අංක 4 දරණ අපරාධ වින්දිතයන් ආරක්ෂා කරීමේ පනත යටතේ සාක්ෂිකරුගේ අන්‍යතාව හා පුද්ගලික තොරතුරු හෙළිදරව් නොකිරීමට කොමිෂන් සභාව උපදෙස් දුන්නේ ය. සැකකරුගෙන් විවෘත සභාව තුළ සාක්ෂි විමසීම සිදු නොකළ අතර කොමිසමේ විනිසුරුවරුන්ට පමණක් පෙනෙන පරිදි සහ සභාවට හඬ පමණක් ඇසෙන පරිදි සාක්ෂි විභාගය සිදු වුණේ ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණය ද උපයෝගී කරගනිමිනි. එහිදී අනාවරණය වූ කරුණු අනුව සාක්ෂිකරු තහනම් කළ සංවිධානයක ඉහළ තනතුරක් දරා තිබේ. ඔහු තුර්කිය සහ ඊශ්‍රායලය යන රටවල අධ්‍යාපනය ද ලබා ඇති බව හෙළිදරව් විය. සාක්ෂිකරු සහරාන් සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ, 2018 වසරේ සිටයි. සහරාන්ගේ වීඩියෝපටයක් නරඹා ඔහු සමග සම්බන්ධවූ බවත්, එකසිය 50 ක පමණ පිරිසක් සහරාන්ගේ අනුගාමිකයින් ලෙස සිටි බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ. සාක්ෂි ලබා ගැනීම අතර තුර අවස්ථා කිහිපයකදී මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කර රහස්‍යගත ප්‍රකාශ ලබා ගැනීමට ද ජනාධිපති කොමිසම කටයුතු කළේ ය.