ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5ක් නිදහස්

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5ක් නිදහස්

by Staff writer 17-01-2020 | 5:43 PM
COLOMBO (News 1st) : නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අන්දමින් ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය. විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු , විශ්‍රාමික මේජර් ජෙනරල් කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න යන විත්තිකරුවන් තිදෙනා සහ එම නඩුවේ පළමු සහ දෙවන විත්තිකරුවන් ලෙස නම් කර සිටි රක්නා ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම එලෙස සියලු අධිචෝදනාවලින් නිදහස් කරනු ලැබී ය. නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ 7573 කින් යුත් අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික නෛතික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝග කළේ ය. විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ අධිචෝදනා 7573 අතරින් තවදුරටත් පවත්වාගෙන යාමේ නීතිමය හැකියාව ඇත්තේ අධිචෝදනා 19 ක් පමණක් බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 10 වන දා පැවැත්වීමට නියමිතව තිබේ. විශ්වජිත් චන්දන දියබලනගේ, ජෝන් ඇල්බට් තිලකරත්න, එම නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ යුක්‍රේන ජාතික කෙනඩි ගැබ්බ්‍රි ලෝ , මේජර් නිශ්ශංක සේනාධිපති, වික්ටර් සමරවීර , නිළුපුල් ද කොස්තා, පොන්නතුරෙයි බාල සුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍ර හා සමන් දිසානායක යන විත්තිකරුවන් 8 දෙනාට එරෙහිව අධිචෝදනා 19 යටතේ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි, සලකා බලන ලෙස ද විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය. එම නඩුවේ හත්වන සැකකරු ලෙස නම් කර තිබූ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසර් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද එහිදී නියෝග කළේ ය. ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ විනිසුරු මඩුල්ල එම විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසටද නියෝග කරනු ලැබී ය. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්. වී. ඇවන්ට්ගාඩ් නෞකාවේ කිසිදු නීත්‍යනුකූල බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ගිනිඅවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ දෙදහස් නවසිය තිස්පහක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. නිදහස් කරනු ලැබු 12 වන විත්තිකාරිය වන සුජාතා දමයන්ති ජයරත්න මහත්මියට නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට ද විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.