අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ

අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ

by Staff writer 17-01-2020 | 3:07 PM
COLOMBO (News 1st) : 2020 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ, 1988 වසරේදීයි. ඔස්ට්‍රේලියාවේ පැවති එම තරගාවලියේ ශුරතාවය හිමිවූයේ සත්කාරක කණ්ඩායමටයි. කෙසේ වෙතත් 1988 වසරේ සිට 1998 වසර වන තෙක් නැවත වරක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නොපැවැත්විණ. 1998 වසරේදී පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව එංගලන්ත දිනා ගත් අතර එතැන් සිට සෑම වසර 2 කට වරක්ම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. අවසන් වරට පසුගිය 2018 වසරේදී නවසීලන්තයේ පැවැත් යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ඉන්දියාව දිනා ගත්තේ ය. ඉන්දියාව මේ වන විට අවස්ථා 4 කදී යොවුන් ලෝක කුසාලන දිනාගෙන ඇති අතර යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩි වාර ගණනක් ශුරතාව හිමිකරගෙන සිටින්නේද ඉන්දියාවයි. ඔස්ට්‍රේලියාව අවස්ථා 3 කදී ශුරතාව දිනාගෙන ඇති අතර පකිස්ථානය අවස්ථා 2 කදී ශූරතාව දිනාගෙන තිබේ. එංගලන්තය , දකුණූ අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාව බැගින් ලොක් යොවුන් ක්‍රිකට් ශුරතාවට හිමිකම් කියයි. කණ්ඩායම් 16 කගෙන් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මේ වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ශුරතාවකට හිමිකම් කීමට සමත්ව නොමැත. 2000 වසරේදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ ය. මෙවර යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. ලබන පෙබරවාසි මස 9 වනදා දක්වා ක්‍රියාත්මක වන තරගාවලිය තුළදී තරග 48 ක් පැවැත්වීමට නියමිතයි. කාන්ඩ 4 ක් යටතේ ක්‍රියාත්මක වන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග වදී. මූලික වටයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඉන්දියාව, නවසීල්තය හා ජපානය සමගින් තරග වැදීමට නියමිතයි. මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ නිපුන් ධනංජයටයි. තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම සහභාගී වන පළමු තරගය අනිද්දා ඉන්දියාත් සමගින් පැවැත්වේ. මෙවර වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් අද සත්කාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථානය තර බිමට පිවිසීමට නියමිතයි.