බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම්

රන්ජන් සමග සංවාදවල නිරතවූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම්

by Staff writer 16-01-2020 | 5:57 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, දුරකතන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ල වී සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබේ. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය. ඒ අනුව අදාළ දුරකථන සංවාද සිදුකළ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිනි රණවක ගුණතිලක මහත්මිය, දැනට රාජකාරියේ නිරතව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නීතිපතිවරයා නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ය.