BREAKING : රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

BREAKING : රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

by Staff writer 15-01-2020 | 7:40 PM
COLOMBO (News 1st) : රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සැලසුම් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු එරට ආණ්ඩුව ඉල්ලා අස් වී තිබේ. රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වුයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති ධූරයේ සිට අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට යම් යම් බලතල පැවරිය හැකි ව්‍යවස්ථා සංශෝධන යෝජනා කිරීමෙන් පසුවයි. ඔහු ජාතිය අමතා කළ ප්‍රකාශයකින් පසු එරට අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ් ආණ්ඩුව ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ ය. විදෙස් වාර්තා පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති ධුරයේ සිට පාර්ලිමේන්තුවට බලය ලබාදීම පිළිබඳව කළ හැකි වෙනස්කම් පිළිබඳව රට පුරා ඡන්ද විමසීමක් ද යෝජනා කර ඇති බවයි.
"අපේ රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය සැපයීම සඳහා වැදගත් වන තනතුරු දරන පුද්ගලයින් වෙනුවෙන් අනිවාර්ය අවශ්‍යතා අනුගමනය කිරීමට ව්‍යවස්ථාමය මට්ටමින් මා යෝජනාවක් කරනවා. ඒ කියන්නේ ෆෙඩරල් ප්‍රධානීන්, ෆෙඩරල් කවුන්සිලයේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අගමැතිවරයා, ඔහුගේ නියෝජිතයින්, ෆෙඩරල් ඇමතිවරුන්, වෙනත් ෆෙඩරල් ආයතනවල ප්‍රධානීන් සහ විනිසුරුවන්ට විදේශීය පුරවැසිභාවය, පදිංචිය හෝ ,, ස්ථිරව ජීවත් වීමට ඉඩ සලසන වෙනත් ලියවිල්ලක් වෙනත් රටක භූමියක් මත තියෙන්න විදිහක් නැහැ"
රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු, අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ් එම ධුරයෙන් ඉවත් වන අතර ඔහුට එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධාන ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇතැයි සඳහන් ය. මෙද්වදෙෆ් සදහන් කර ඇත්තේ ජනාධිපති පුටින්ගේ යෝජනා රුසියාවේ බල තුලනය සැලකිය යුතු ලෙස වෙනස් කරනු ඇති බවයි. තමා ප්‍රමුඛ රජය ලබාගත් ජයග්‍රහණය පිලිබදව ස්තූතිවන්ත වන බව ආණ්ඩුව ඉල්ලා අස්වීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් පුටින් සදහන් කර තිබේ. ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සියල්ල සාර්ථක නොවූ බවයි. නුදුරු අනාගතයේදී සිය කැබිනට් මණ්ඩලයේ සෑම සමාජිකයෙකුම හමුවීමට තමන් බලාපොරොත්තු වන බවද පුටින් සදහන් කර තිබේ. වත්මන් රුසියානු ජනාධිපතිගේ සිව්වැනි ධූර කාලය 2024 වසර තෙක් බලපැවැත්වෙන අතර පවතින ව්‍යවස්ථාව යටතේ ඔහුට සිය ධුර කාලය දීර්ඝ කර ගත නොහැකියි. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේ බලය ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට පැවරීම පුටින්ගේ ප්‍රධාන යෝජනාව වේ. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුවේ ප‍්‍රධානියා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු අතර, පසුව සියලු නියෝජිතයින් සහ ඇමතිවරුන් පත් කිරීම ජනාධිපතිවරයා සතුයි. 2024 වසරෙන් පසුවත් බලයේ රැදි සීටීමට දරන උත්සහයක් ලෙස මෙය දැකිය හැකි බව පුටින්ගේ විවේචකයෝ පවසති.