රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරයට

රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 15-01-2020 | 3:19 PM
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද පස්වරුවේ, නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, මන්ත්‍රීවරයාගෙන් අදාළ දුරකථන ඇමතුම් පිළිබඳව ඊයේ රාත්‍රිය වන තෙක්ම දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවයි. මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මහතාගේ නිවසේදී ඊයේ පස්වරු 6.20 ට පමණ ඔහු අත්අඩංගුවට ගැනුණේ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කරුණු දක්වීමෙන් අනතුරුව එම වරෙන්තුව නිකුත් කළේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ, රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේයි. මෙම චෝදනාව යටතේ, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.