තෛපොංගල් දිනය වෙනුවෙන් ජනපති,අගමැතිගෙන් සුබ පැතුම්

ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු දෙනා එකට එක්විය යුතුයි - ජනපති

by Staff writer 15-01-2020 | 7:30 AM

COLOMBO (News 1st) - ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු දෙනා එකට එක්විය යුතු බව තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ලොව විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ආරාධනා කරන්නේ එකි ඉලක්ක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව සිය මව්බිම ලෙස දකින ලෙසයි. උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ජීවිතය ප්‍රභාමත් වේවා යැයි ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් විය. මේ අතර තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ජාතීන් අතර දුරස්බව අවම කරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කර ගැනීමට ද මෙවන් සැමරුම් තුළින් හැකි බවයි. නවතා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර නව රජය සියලු අභියෝගවලට මුහුණු දී මෙරට නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. වාර්ගික සංස්කෘතික භේද ඉක්ම වූ සාමකාමි නිදහස් රටක් ගොඩ නැගීමට කැපවීම සැමගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරන්නේ, හින්දු ජනතාවට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවා යන්නයි.