අසර්බයිජානයේදී මිය ගිය සිසුවියන්ගේ මෘත දේහ දිවයිනට

අසර්බයිජානයේදී මිය ගිය සිසුවියන් තිදෙනාගේ මෘත දේහයන් දිවයිනට

by Staff writer 15-01-2020 | 10:38 AM

COLOMBO (News 1st) - අසර්බයිජානයේ මහල් නිවසක ඇති වූ ගින්නකින් මිය ගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහ අද පෙරවරු 9.15 ට පමණ දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ, දෝහා සිට පැමිණි යානයකිනි. කටාර්හි දෝහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඉරානයේ ටෙහාරන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සිරුරු මෙරටට රැගෙන විත් ඇත. දේහ මෙරටට රැගෙන එනු ලැබුවේ, ශ්‍රී ලංකා රජයේ වියදමිනි. අසර්බයිජානයේ බකුහි වෙස්ටන් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබු අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකුට පසුගිය දා මෙම ඉරණමට මුහුණ පෑමට සිදු විය. එම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදැරීම සඳහා ඔවුන් තිදෙනා ගොස් ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි. තරුණියන් නවාතැන් ගෙන සිටි බකු අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම් මහලේ ඇති වූ ගින්නක් සමග විෂ දුම ආග්‍රාණය වීම නිසා සිසුවියන් තිදෙනා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගින්නට හේතුව එම නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ විමර්ශන පවත්වනු ලබයි.