ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට කුමක් වෙයි ද?

අමෙරිකානු ජනපතිට සෙනෙට් මණ්ඩලයේ දෝෂාභියෝග ගොනු කිරීම අද

by Staff writer 15-01-2020 | 9:42 AM

News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා සෙනෙට් මණ්ඩලය හමුවේ ගොනු කිරීමට අනුමැතිය ලබාගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

ලබන සතියේ ඇරඹීමට නියමිත දෝෂාභියෝග විභාගය සඳහා පසුබිම සකස් කිරීම එහි අරමුණයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉකුත් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවැත් වූ දෝෂාභියෝග ඡන්දයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්විය. එම ඡන්ද විමසීමට මුල්වූයේ ජනාධිපතිවරයා බලතල අවභාවිත කිරීම සහ කොංග්‍රසයේ කටයුතුවලට බාධා කිරීමයි. ඔහු සිය ප්‍රතිවාදී ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හෙළිවීම ඊට මුල්විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එලෙස විමර්ශනයක් පවත්වන තෙක් යුක්‍රේනයට යුධ ආධාර ලබාදීම අවහිර කිරීමට ද ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ඇත. අමෙරිකානු ඉතිහාසයේ එලෙස සෙනෙට් මණ්ඩලයේදී ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝග ඡන්ද විමසීමක් පැවැත්වෙන තෙවන අවස්ථාව මෙය වනු ඇති. කෙසේ වෙතත් සෙනෙට් සභාවේ බලය රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවන බැවින් ජනාධිපති ට්‍රම්ප් තමාට එරෙහි දෝෂාභියෝගයෙන් ජයගනු ඇති බවට මත පළ වෙයි.