අඩු ආදායම්ලාභින්ට, සහන මිලට ආහාර ද්‍රව්‍ය

අඩු ආදායම්ලාභින්ට, සහන මිලට ආහාර ද්‍රව්‍ය සැපයීමට ජනපතිගෙන් වැඩපිලිවෙලක්

by Staff writer 15-01-2020 | 6:33 PM
COLOMBO (News 1st) : අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ යටතේ සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් නිකුත් කරන බවයි. සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින් වැන්දඹු පවුල්, ස්ථිර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධවලින් පෙළෙන්නන් ඒ සඳහා හිමිකම් ලබනු ඇති. සීනි, තේ , හාල් , පිටි , පරිප්පු කඩල, ළූණු, මිරිස්, කරවල, අල හා කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ලංකා සතොස, සමුපකාර වෙළඳ ජාලය සහ බලයලත් වෙළඳසල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මුලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති. අදාළ වෙළඳසල්, ජනාකීර්ණ ප්‍රදේශවල ද, අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි ඒවා පිහිටුවීමට අවධානය යොමුව තිබේ. බලයලත් වෙළඳසල් තෝරා ගැනීමේදී කාන්තා ව්‍යවසායකින්ට ප්‍රමුඛකත්වය ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් නගා සිටුවීමට ද ජනධිපතිවරයා අපේක්ෂා කරයි.