Update: මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට

by Staff writer 14-01-2020 | 6:01 PM

COLOMBO (News 1st) Update: (6.25 p.m) - හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදීයි. නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝගයට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. නීතිපති දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය එක්ව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ කරුණු දක්වනු ලැබුවේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේයි. මෙම චෝදනාව යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටවීම විශේෂත්වයකි. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු තහවුරු කිරීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද සාක්ෂි විමසා සිටියේ ය. එම සාක්ෂි විමසීමෙන් පසු මෙය සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා සිතාසී නිකුත් කිරීමේ හැකියාව තිබියදී වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද පස්වරුවේ නිකුත් කළ උපදෙස් අනුව ඔවුන් අධිකරණයෙන් මෙම නියෝගය ලබා ගෙන තිබේ. ඒ, මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන දුරකතන සංවාද අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත්වී ඇති බවට කරුණු හෙළිවී තිබිම හේතුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 /2 ව්‍යවස්ථාව යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට ආනාවරණය වී ඇති නිසා නීතිපතිවරයා එම නියෝග කර ඇත.

--------------------------------------------------------------------------------------------------------------------

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී (CCD) කණ්ඩායමක් මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ තිබේ.