ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් වීමට ජපානය සූදානම්

ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් වීමට සූදානම් බව ජපානය කියයි

by Staff writer 14-01-2020 | 6:30 AM
COLOMBO (News 1st) : ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවේදී කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා මේ බව ප්‍රකාශ කළ බවයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් එමෙන්ම ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බවත් එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායි පරිසරයක් ගොඩනැගී ඇති බවත් ජපාන රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා තිබේ. ජපාන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බවයි. 2015 ට පෙර මෙරට පැවති 7% ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇති ආකාරය ජනාධිපතිවරයා යමමොතෝ මහතාට පැහැදිලි කර දී තිබේ. එය ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජපාන රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව, ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් කොසෝ යමමොතෝ මහතා එහිදි කියා සිටි බවයි.