ලොව බලවත්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

අමෙරිකා, චීන, රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

by Staff writer 14-01-2020 | 7:50 PM

* අඛණ්ඩව ශ්‍රී ලංකාවට ආයුධ සපයනවා - රුසියානු විදේශ ඇමති * චීනයේ සංචාරයක නිරතවන්නැයි ජනපතිට ඇරයුම් * ඇලිස් වේල්ස් ජනපති සහ අගමැති හමුවෙයි

COLOMBO (News 1st) - ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළපෙළේ නියෝජිතයින් සිව්දෙනෙක් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණියහ.

එය මෙරට දේශපාලනයේ සිදු වූ දුලබ සිදුවීමක් යන්න දේශපාලන විචාරකයන්ගේ අදහසයි. රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ අද අලුයමයි. අද උදෑසන ඔහු විදේශ සබඳතා ආමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත විය. එහිදී ආර්ථීක, ආරක්ෂක, අධ්‍යාපනික, සංචාරක, විද්‍යා තාක්ෂණ අංශ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. අනතුරුව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ද එක්විය. මේ අතර අද පස්වරුවේ රුසියානු විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිණි. අනතුරුව, විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමු වූ සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ අතර චීන විදේශ අමාත්‍ය වැන්ග්යී මහතාද අද අලුයම කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර ඔහු ද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිණි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව වාසනාවකට හෝ අවාසනාවකට භූගෝලිය වශයෙන් පිහිටා තිබෙන්නේ උපයාමාර්ගිකව වැදගත් ස්ථානයක බවයි. ඒ, හේතුවෙන් බොහෝ දේශපාලන අභියෝගයන්ට මුහුණදීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා වෙත පවසා තිබේ. ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, එම අභියෝග ජය ගැනීමට ඇති එකම මාර්ගය ආර්ථීක වශයෙන් ශක්තිමත් වීම බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය නොවෙනස් එකක් බවත් ශ්‍රී ලංකාවේ නිරන්තර විශ්වාසදායක මිතුරා බවත් එහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. චීන විදේශ අමාත්‍යවරයා එරට ජනාධිපතිවරයාගේ සුභාශිංෂණ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමින් පවසා ඇත්තේ චීනයේ පැරණි මිතුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත්වීම පිළිබඳව සුබ පතන බවටයි. චීනයේ සංචාරයක නිරතවන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ. චීන විදේශ අමාත්‍යවරයා අද පස්රුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර ඔහු අද උදෑසන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විය. රුසියානු හා චීන විදේශ අමාත්‍යවරුන්ට අමතරව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා ද අද පස්වරුව තෙක් මෙරට රැඳී සිටි අතර ඔහු ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය ද අද අලුයම දිවයිනට පැමිණියේ එවන් පසුබිමකයි. ඇය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද පස්වරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය. ට්විටර් පණිවුඩයන් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ ප්‍රකාශ කළේ, ඇය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක් ද හමුවී සාකච්චාවල නිරත වූ බවයි. අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරිය අද දිනයේ සිවිල් සමාජ නායකයින් සමග ද සාකච්ඡාවල නිරත වූ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඇය හෙට ඉන්දියාව බලා යාමට නියමිත අතර ලබන 18 වෙනි දා දක්වා ඉන්දියාවේ රැඳී සිටිමෙන් අනතුරුව පකිස්ථානය බලා යාමට නියමිතයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඇය මෙම සංචාරය තුළදී මානව හිමිකම්, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාෂයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇති.