හැරී-මේගන්ගේ අනාගතය ගැන රජ පවුලේ විශේෂ සාකච්ඡාවක්

හැරී - මේගන්ගේ අනාගතය ගැන රජ පවුලේ විශේෂ සාකච්ඡාවක්

by Staff writer 13-01-2020 | 8:16 PM

News 1st - එංගලන්තයේ හැරී කුමරුගේ හා මේගන් මාකල්ගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨයින් මේ වනවිට විශේෂ සාකච්ඡාවකට එක්ව සිටී.

තමන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී ස්වාධීන වන බව හැරී කුමරු සහ මේගන් මාකල් ඉකුත් දා ප්‍රකාශයට පත් කළහ. ඒ, පිළිබඳව ඔවුන් දෙවන එළිසබෙත් රැජිණද දැනුවත් කිරීමත් සමග රැජිණ විසින් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණිනි. මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු මෙන්ම, හැරී කුමරු ද එක්ව සිටින බව විදෙස් වාර්තාවල සඳහන් ය. කැනඩාවේ රැඳී සිටින මේගන් මාකල්, දුරකතනය හරහා එම සාකච්ඡා සඳහා එක්වන බව මීට පෙර වාර්තා වූ අතර මෙම සාකච්ඡාව රජ පවුලේ ඉතිහාසයට එක්වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙති.