කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්

නවකවදය: කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 13-01-2020 | 5:29 PM

COLOMBO (News 1st) - පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකාර සිසුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් සියලු දෙනා හඳුනා ගෙන ඇත. ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ පහරදීම, තුවාල සිදු කිරීම, අයුතු ජනරාශීය සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගිය 9 වැනි දා පස්වරුවේ ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ගැටුමක් සිදුව ඇති අතර 10 වැනි දා පස්වරුවේ ඊට සම්බන්ධ සිසුන් 12 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. දෙවන වසරේ සිසුන් පිරිසක්, පළමු වසරේ සිසුන්ට විශ්වවිද්‍යාලය තුළදී මෙන්ම බොරැල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පසුගිය දින කිහිපය සිට අමානුෂික ලෙස නවකවදය ලබාදී ඇතැයි පැවසේ. පහරකෑමට ලක් ව ඇත්තේ, ඊට එරෙහි වූ තෙවන වසරේ සිසුවෙකු සහ තව ත් සිසුවෙකි. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.