ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත්

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත්

by Staff writer 13-01-2020 | 6:36 AM
COLOMBO (News 1st) : ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව දෙවන දිනයටත් පැවැත්වේ. ඒ , සිය සතුරා අමෙරිකාව නොව සිය සතුරා ඉරානය තුළම සිටින බව ප්‍රකාශ කරමිනි. පුද්ගලයන් 176 දෙනෙකුට මරු කැඳවමින් යුක්‍රේන ගුවන්යානයක් කඩාවැටීමට , අත්වැරදීමකින් යැවූ ඉරාන මිසයිලයක් හේතුවූ බව ඉරාන රජය අවසානයේ පිළිගැනීම , මෙම විරෝධතා ඇරඹීමට හේතුවිය . මේ හමුවේ ඉරාන අධ්‍යාත්මික නායකයා මෙන්ම සේනාධිනායකයා ද වන අයතුල්ලා අල් ඛමේනි සිය ධූරයෙන් ඉවත්විය යුතු බව විරෝධතාකරුවෝ පවසති. පොලීසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් මෙම විරෝධතාකරුවන් පලවාහැරි බව සඳහන් ය . මේ අතර ඉරානයේදී ගුවන් අනතුරින් මියගිය කැනඩා ජාතිකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හැඟුම්බර ලෙස කියා සිටියේ ය . එම අනතුරින් මියගිය කැනඩා ජාතිකයන් සංඛ්‍යාව 57 කි . ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සඳහන් කළේ, එම ගුවන් අනතුරින් තම ජීවිතය ද තොරවුවා නම් යහපත් යැයි අනතුර පිළිබඳ දැනගත් අවස්ථාවේ සිතුනු බවයි . මේ අතර ඉරාකයේ බෑග්ඩෑඩ් නුවරට උතුරු දෙසින් පිහිටි ඉරාක ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර රැසක් එල්ලවිය. එම කඳවුරෙහි අමෙරිකානු හමුදා සෙබළුන් සිටි බවද සඳහන් ය . මෙම ප්‍රහාර වලින් සිය සෙබලුන් හතරදෙනෙකු තුවාල ලැබු බව ඉරාක හමුදාව සඳහන් කළේ ය.