by Staff writer 12-01-2020 | 6:05 PM
COLOMBO (News 1st) : රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා නිල සංචාරයක් සඳහා අනිද්දා අලුයම දිවයිනට පැමිණෙයි.
විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියානු විදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිත බවයි.
මෙහිදී ආර්ථීක, ආරක්ෂක, අධ්‍යාපනික , සංචාරක , විද්‍යා තාක්ෂණ අංශ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිත අතර කලාපීය වශයෙන් ඇති අභියෝග සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු කෙරෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසී ය.
අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍ය වංග් යි මහතා ද කෙටි සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
එම සංචාරය තුළදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යාවරයා හමුවීමට නියමිතයි.
හෙට රාත්‍රීයේ දිවයිනට පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා අනිද්දා දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර, දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙයි.
එම සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්ථානයේ සංචාරය කිරිමට නියමිත බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් , සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඇලිස් වේල්ස් මහත්මිය සාකච්ඡා පවත්වනු ඇති.
මානව හිමිකම් , යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්වි පාර්ශික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.