මියගිය සිසුවියන්ගේ මරණ පරීක්ෂණ කටයුතු අවසන්

මියගිය සිසුවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන්

by Staff writer 12-01-2020 | 6:21 PM
COLOMBO (News 1st) : අසර්බයිජානයේ මහල් නිවසක ඇති වූ ගින්නකින් මියගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ බව මේ වන විට දැනුම් දී ඇති බවයි. ඔවුන්ගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ය. අසර්බයිජානයේ බකුහි වෙස්ටන් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මෙම ඉරණමට මුහුණ පෑවේ ය. එම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදැරීම සඳහා ඔවුන් තිදෙනා ගොස් ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි. තරුණියන් නවාතැන් ගෙන සිටි බකු අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම් මහලේ ඇති වු ගින්නක් සමග විෂ දුම ආඝ්‍රානය වීම නිසා සිසුවියන් තිදෙනා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගින්නට හේතුව එම නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බව සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/731439267380299/