ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රැඳවා ගැනේ

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රැඳවා ගැනේ

by Staff writer 12-01-2020 | 9:13 PM
COLOMBO (News 1st) :ඉරාන - ඇමරිකා විරසකය ක්‍රමයෙන් වර්ධනය වන පසුබිමක, ඉරානය අද උදෑසන බ්‍රිතාන්‍යය ද විරසක කර ගන්නා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. ඒ, එරට විරෝධතා අතරතුර ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා අත්අඩංගුවට ගනිමිනි. ඉරානයේ ටෙහෙරාන් නුවර ඊයේ සිට විරෝධතා ආරම්භ වුණේ, යුක්‍රේන ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළීම වසන් කළ රජය සහ බලධාරීන්ට එරෙහිවයි. ඔවුන් පවසන්නේ එරට ආධ්‍යාත්මික නායකයා මෙන්ම සේනාධිනායකයා වන අයතුල්ලා අල් කමේනි සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි. එම විරෝධතාවක් පැවැත්වෙන ස්ථානයට ගොස්, ගුවන් අනතුරින් මියගිය අය සිහිකිරීමට එක්වූ සිය තානාපතිවරයා ඉරාන බලධාරින් අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය චෝදනා කරයි. කිසිඳු පැහැදිලි කිරීමකින් හෝ පදනමකින් තොරව පැය තුනක කාලයක් සිය තානාපතිවරයාව රැඳවුම් භාරයේ තබාගෙන පසුව මුදා හැරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ද බ්‍රිතාන්‍යය චෝදනා එල්ල කළේ ය. අදාළ විරෝධතා ද තවදුරටත් පවතින අතර, ඉරානයේ විශ්වවිද්‍යාල දෙකක් ඉදිරිපිට පැවැත්වුණු විරෝධතා සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළේ ය. ඉරාන ජනතාව විසින් එරට රජයට එරෙහිව අරඹා ඇති මෙම විරෝධතාවයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහය පළ කළේ ය. ඉරාන ඇමරිකා මතබේදාත්මක තත්ත්වය එලෙස වර්ධනය වන පසුබිමක, අමෙරිකානු හමුදා කඳවුරු වල පුහුනුව ලබන සෞදි අරාබි හමුදා නිලදාරීන් පිටුවහල් කිරීමට අමෙරිකාව සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ, ඉකුත් දෙසැම්බර් මස හය වන දින ෆ්ලෝරීඩාහි නාවික හමුදා කඳවුරකදී සෞදි ගුවන් හමුදා නිලධාරියකුගේ වෙඩි තැබීමෙන් අමෙරිකානු නාවිකයන් 3 දෙනෙකු මියයාමේ පසුබිමකයි. කෙසේවෙතත් පෙන්ටගනය , අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ් බී අයි ආයතනය මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල අදහසක් පළ කර නොමැත. මැද පෙරදිග හා ඇමරිකාව අතර විරසකයක් වර්ධනය වන පසුබිමක, චිනය හා ඇමරිකාව අතර දිගු කලක් සිට පැවති වෙළෙඳ අර්බුදය පිළිබඳව දෙපාර්ශවය යළි සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ පිළිබඳව නිල ප්‍රකාශය ලබන 15 වැනිදා සිදු කිරීමට නියමිත අතර, නව සාකච්ඡා ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙකට සිය වෙලඳ සබඳතා සවිමත් කරගැනීමට අවස්ථාව සලසනු ඇතැයි විදෙස් විචාරකයන්ගේ මතයයි.