මියගිය සිසුවියන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට සාකච්ඡාවක්

අසර්බයිජානයේදී මිය ගිය සිසුවියන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡාවක්

by Hashini De Mel 12-01-2020 | 1:11 PM

COLOMBO (News 1st) - අසර්බයිජානයේ මහල් නිවසක ඇති වූ ගින්නකින් මිය ගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඉරාන ශ්‍රී ලංකා තානාපතිවරයා සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව කඩිනමින් එම මෘත දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය. අසර්බයිජානයේ බකුහි වෙස්ටන් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකුට මෙම ඉරණමට මුහුණදීමට සිදු වුණි. එම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදැරීම සඳහා ඔවුන් තිදෙනා ගොස් ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි. තරුණියන් නවාතැන් ගෙන සිටි බකු අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම් මහලේ ඇති වූ ගින්නක් සමග විෂ දුම ආග්‍රාණය වීම නිසා සිසුවියන් තිදෙනා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගින්නට හේතුව එම නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ විමර්ශන පවත්වනු ලබයි.