ලංගම සේවකයින්ගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

ලංගම බස් රථ සේවකයින්ගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 11-01-2020 | 1:43 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ සේවකයින්ගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. දුර ගමන් සේවා සඳහා පවතින ලංගම බස් රථ සඳහා රියැදුරන් ප්‍රමාණවත් නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි. එම අමාත්‍යාංශය පැවසුවේ, අවිධිමත් ලෙස උසස් වීම් ලබාදීම සහ ස්ථාන මාරු ලබාදීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි. ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංගම සේවකයින් සඳහා ලබා දෙන ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අතර නව බස් රථ 500 ක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පැවසුවේ, මගී ජනතාවට වැඩි පහසුකම් සහිත බස් රථ මිලදී ගැනීමට එහිදී කටයුතු කරන බවයි. ධාවනය කිරීමට නුසුදුසු බස් රථ වැඩි ප්‍රමාණයක් ඩිපෝවල පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර ඉදිරියේදී තව ත් බස් රථ 2000 ක් මිල දී ගැනීමට ද නියමිත වේ.