by Staff writer 11-01-2020 | 8:30 PM
COLOMBO (News 1st) : තමා අතින් සිදු වූ කනගාටුදායක අත්වැරදීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත් වන බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පැවසූවේ යුක්‍රේන මගී ගුවන් යානය තමන් එල්ල කල මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බව ඉරානය පිළිගැනීමෙන් අනතුරුවයි.
ඉරාන හමුදා අත්වැරදීමකින් එල්ල කළ එම මිසයිල ප්‍රහාරයෙන් යානයේ සිටි පුද්ගලයින් 176 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම අත්වැරැදීමට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් පමුණුවන අතර මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළ කරන බවයි.
මේ අතර තම රටට එල්ල වන සතුරු කෘස් මිසයිලයක් යැයි වැරදි ලෙස අනුමාන කර ගුවන් යානයට පහර දී ඇතැයි ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ගුවන් යානා නාශක බලකායේ අණ දෙන නිලධාරීවරයාට තිබී ඇත්තේ තත්පර 10 ක කාලයක් පමණක් බවයි.
යුක්‍රේන ගුවන් යානය කාඩා වැටී ඇතී බව අසන්නට ලැබීමෙන් තමාට මිය යාමට සිතුනු බව ඉරාන හමුදා ප්‍රධානිය අද පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවකදී කියා සිටියේ ය.
කෙසේ වෙතත් මෙම යානය අනතුරට ලක්වීම පිළිබඳ වගකීම භාර නොගන්නා බව ඉරානය මීට පෙර අවධාරණය කළේ ය.
ඒ අමෙරිකාව, ඇතුළු රටවල් රැසක් අදාළ යානය අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් ඉරානයට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියදීයි.
මේ අතර යුක්‍රේන ගුවන් යානය බිමහෙළීම පිළිබඳව එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ඉරාන ජනපති හසන් රුහානි සමග සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.