ඉරානයේ ප්‍රහාර සැලසුම්: ට්‍රම්ප්ගෙන් හෙළිදරව්වක්

ඉරානයේ ප්‍රහාර සැලසුම් පිළිබඳ අමෙරිකානු ජනපතිගෙන් හෙළිදරව්වක්

by Staff writer 11-01-2020 | 8:52 AM

News 1st - ඉරානය, අමෙරිකානු තානාපති කාර්යාල හතරකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ, එවැනි පසුබිමකදී තමන් ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කරන ලෙස සිය හමුදාවට නියෝග කළ බවයි. අමෙරිකාව එලෙස ඉරාන ජෙනරාල්වරයා ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව විමසු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ ය. ඉරානයේ ජාතික වීරයකු වන කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට අමෙරිකාව පියවර ගත්තේ බෑග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් කඩාවැදීමෙන් පසුවයි. කෙසේ වෙතත් බුද්ධි අංශ විමසීමේදී ඉරානය අමෙරිකානු තානාපති කාර්යාල වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කලැයි හෙළිනොවු බව අමෙරිකාවේ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරු පවසති. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ද තහවුරු කළේ ය.