"රන්ජන් සහ විනිසුරුවරුන් අතර සංවාද පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න" - නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ඉල්ලයි

by Staff writer 10-01-2020 | 8:39 PM

COLOMBO (News 1st) - ප්‍රසිද්ධියට පත්ව ඇති රන්ජන් රාමානායක මහතා හා විනිසුරුවරුන් අතර ඇති වූ බව කියන දුරකතන සංවාද පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා,
වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් අග්‍රවිනිශ්චයකාරතුමාට ඉල්ලීමක් කළා එම කාරණා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඊට අමතරව වශයෙන් විශේෂ කාරක සභා රැස්වීමක් අපි පැවැත්වුවා ඊයේ දින. විධායක මණ්ඩල සාමාජිකයන්ගේ ඒකමතික තීරණය වුණේ හැකි වහාම අග්‍රවිනිශ්චකාරවරයාත්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරි මණ්ඩලයත් හමුවෙලා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කරන්න කියලා වාචිකව. මොකද මේ නීති පද්ධතිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම්කිසි ගැටළුවක් මෙම අනාවරණයත් සමග සිදුවී තිබෙන නිසා.
මේ අතර අදාළ දුරකතන සංවාද ඇතුළත් හඬපට සමාජ ඡාල මාධ්‍ය ඔස්සේ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් පොලීසියට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. පොලීසිය සතු කිසිදු හඬපටයක් බාහිර පාර්ශව වෙත ලබාදී නොමැති බවත් ඒවා රන්ජන් රාමානායක මන්ත්‍රීවරයාගේ වම් මාපට ඇඟිලි සලකුණ සහිතව මුද්‍රා තබා ආරක්ෂිතව ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය. සමාජ ගත වී ඇති සිද්ධි දුරකතන සංවාදවල ඇතුළත් හඬපට සම්බන්ධ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ දීර්ඝ කාලයක සිට ඒවා සන්තකයේ තබාගෙන සිටි අයවළුන්ට බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.