නවකවදය සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 ක් අත්අඩංගුවට

by Staff writer 10-01-2020 | 4:36 PM

COLOMBO (News 1st) - නවකවදය සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම කර ඇති බවයි. පෙරේදා පස්වරුවේ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ගැටුමක් ඇතිව තිබුණි. දෙවන වසරේ සිසුන් පිරිසක් පළමු වසරේ සිසුන්ට විශ්වවිද්‍යාලය තුළදී මෙන්ම බොරැල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පසුගිය දින කිහිපය පුරා අමානුෂික ලෙස නවකවදය ලබාදී ඇත. පහරකෑමට ලක්ව ඇත්තේ ඊට එරෙහි වූ තෙවන වසරේ සිසුවෙක් සහ තව ත් සිසුවෙකි. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. අත්අඩංගුවට ගත් සිසුන් හෙට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නවකවද සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඊයේ කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනයේදී අදහස් පළ කළේ ය.
උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාලවලට තේරුණු 2000 ක් තරුණ තරුණියන් අපේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයන්ට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේවා ගැන අපි හිතන්න ඕනා. දැන්වත් අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න හිතා ගන්න ඕනා. එක එක අයට දඩමීමා වෙන්නේ නැතිව. අපි තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි ගමන යන්න අපිට ළඟ හොඳ සැලැස්මක් තියෙනවා. අපි එයට කැපවෙලා ඉන්නවා.