ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු ටෙස්ට් සටන 19 වැනි දා

තරග තහනමින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග යළි ක්‍රිකට් පිටියට

by Staff writer 09-01-2020 | 10:17 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සිම්බාබ්වේ තරග සංචාරයක නිරතවීමට සූදානම් වෙයි.

තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දා ආරම්භවීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ හරාරේහිදීය. පළමු ටෙස්ට් තරගය ලබන 19 වන දා සිට 23 වන දා දක්වාත් දෙවැනි ටෙසට් තරගය ලබන 27 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ඇතුළත් නොවන අතර එයට හේතුව වන්නේ එම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 9 තුළ සිම්බාබ්වේ කණ්ඩායම නොසිටීමයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ක්‍රියා කළ අතර ඉන් අනතුරුව එරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි. මෙම ටෙස්ට් තරගාවලිය මූලික කරගනිමින් විශේෂ දින 10ක පුහුණු කඳවුරක් සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය සඳහා අද ආරම්භ වන බව එරට ක්‍රිකට් ආයතනය පැවසීය. සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවත් සමග ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වූයේ පසුගිය 2017 වසරේ ජූලි මාසයේදීයි. මේ අතර සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ෂෝන් විලියම්ස් පත් කර තිබේ. එක්දින සහ 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස පත් කර ඇත්තේ චමු චිබාබා. සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ හැමිල්ටන් මසකඩ්සා විසින් කළ නිර්දේශ අනුව මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන් ය. එම නිර්දේශ සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ ඒකමතික අනුමැතිය ද හිමිව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය සැප්තැම්බර් මාසයේදී හිටපු නායක හැමිල්ටන් මසකඩ්සා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමග එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව තනතුරු මෙතෙක් පුරප්පාඩු වී පැවතුණි.