ඉරාන ආරක්ෂක ඇමතිගෙන් අමෙරිකාවට දැනුම්දීමක්

අමෙරිකාවේ ක්‍රියාකාරකම් මත මීළඟ ප්‍රතිචාර දක්වන බව ඉරානය කියයි

by Staff writer 09-01-2020 | 7:22 AM

News 1st - අමෙරිකාවේ ක්‍රියාකාරකම් මත සිය මීළඟ ප්‍රතිචාර දැක්වීම් තීරණය වනු ඇතැයි ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හටාමි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි. අමෙරිකාව පසුගිය දා සිය ප්‍රධාන හමුදා ජෙනරාල්වරයකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස එම පියවර ගත් බව ඉරානය සඳහන් කළේ ය. ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉරාකය සඳහන් කළේ, එය සිය ස්වාධිපත්‍යය කෙලෙසීමක් බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක ජාතිකයකු මියගොස් නොමැති බවයි. විනාඩි 10 ක පමණ කාලයක් පුරා කළ විශේෂ ප්‍රකාශයේදී ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බව ද ඔහු නිවේදනය කළේ ය. මේ අතර මැදපෙරදිග ගැටලුව විසඳීමට තවදුරටත් මැදිහත්වන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයා නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.