රාජිතට දුන් නියෝගය:නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

රාජිතට දුන් ඇප නියෝගය අවලංගු කරන්නැයි, නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

by Staff writer 08-01-2020 | 6:08 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ ඇප නියෝගය අවලංගු කරන්නැයි, ඉල්ලා නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේ ය. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය සඳහන් කළේ, පසුගිය 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රතිශෝධන අයදුම්පත ඉදිරිපත් කළ බවයි. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවට අදාළව රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කළේ, පසුගිය 27 වැනිදායි. ඒ වන විටත් නාරහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියේ ය. ඔහු ඇප හිමිවූ පසුගිය 30 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ද අසනීප තත්ත්වය හේතුවෙනි.