රන්ජන්ගේ විනය ගැන එජාපයෙන් විශේෂ පරීක්ෂණයක්

රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් CCD ය විමර්ශන අරඹයි

by Staff writer 08-01-2020 | 11:03 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයින්ට ගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසින් සොයා ගත් සංයුක්ත තැටිවල අඩංගු කරුණු පිළිබඳව සහ මේ දිනවල සමාජ මාධ්‍ය හා ජන මාධ්‍යවල විකාශය වන හඬ පට පිළිබඳ විමර්ශනය කරන බවයි. අදාළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඒ ඒ දුරකතන සමාගම් මගින් වාර්තා කැඳවීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මකයි. මේ අතර මෙම සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය විනය කඩ කර ඇති ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, එම පරීක්ෂණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.