සිර දඬුවම් නියම වූ සරණ ගුණවර්ධනට ඇප

වසර 3ක සිර දඬුවම් නියම වූ සරණ ගුණවර්ධනට ඇප

by Staff writer 07-01-2020 | 3:53 PM

COLOMBO ( News 1st ) - වසර 3ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරිණි.

ඒ, රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මතයි. අද පෙරවරුවේ සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වසර 3ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළේ ය. තමාට එරෙහිව නියම කළ දඬුවමට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා ය. සරණ ගුණවර්ධන මහතාට සිර දඬුවම් නියම කෙරුණේ, අයුතු ගනුදෙනු තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ය. සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2007 වසරේ මැයි 5 වැනිදා සිට 2008 වසරේ අප්‍රේල් 30 දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන 3ක් ලීසිං පදනමට මිලදී ගැනීමේදී රුපියල් 960,000 බැගින් අයුතු ලෙස බදු අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා 3ක් ගොනුකර තිබුණි.